Saturday, June 30, 2012

රත්තරන් පාට කොමඩ් එක


මේක මට යාලුවෙක් එව්ව කතාවක්.. 


ඔන්න එක්තරා වැදගත් පහේ පොරක් හිටියලු බිව්වම මෙමරිය ෆුල් අවුල් යන.බිව්වට පස්සේ ගෙදර යන්නවත්  පාරවත් අමතක වෙන නිසා යාලුවෝ ගෙදර ගෙනත් දානවලු. පහුවෙනිදා වෙරි හිදුනම මූට කොහේ ඉදන්ද බිව්වේ කියන ඒකවත් මතක නැල්ලු.


ඔන්න දවසක් පොර බිලා ගෙදර ඇවිත් පහුවෙනිදා උදේ නැගිටලා බලද්දී අතේ බැදන් හිටිය බොහොම වටිනා කියන අත ඔරලෝසුව නෑලු. ඒ විතරක් නෙමෙයි, පොරට දැන් මතකත් නෑලු කලින් දවසේ කොහේ ඉදන්ද බිව්වේ කියන ඒකවත්. මතක ඒරියා එකේ නම විතරලු. පොර මේ ගැන ගෑනිටත් කිව්වම ගෑනිත් සුපුරුදු අදෝනාව දාලා කිව්වලු,


"මතක් කරලා බලන්න, කොහේදී  හරි ගලවලා තිබ්බද..? " කියලා.


අපේ පොරත් දැන් දස අතේ කල්පනා කරනවලු. අන්තිමේදී පොඩි හෝඩුවාවක් මතක් වෙලා වයිෆ්ට කිව්වලු,


"මේ.. ඒයි.. මම ඊයේ රෑ චූ කරන්න ඕනේ වෙලා ඕක බාත්රූම් එකේදී  ගලවලා තිබ්බා. මට නිකන් මතකයි ඒකෙ තිබුණේ රත්තරන් පාට කොමඩ් එකක්..."


"රත්තරන් පාට කොමඩ් එකක්?.. ඔය වගේ එකක් හැම ගෙදරකම නැතුව ඇතිනේ.. ඒ නිසා පොඩ්ඩක් ආයේ ගිහින් ගෙවල් වලින් අහලා බලනවා රත්තරන් පාට කොමඩ් එකක් තියෙන ගෙදර මොකද්ද කියලා. එතකොට හොයාගන්න පුළුවන් වෙයි..."


අපේ පොරත් ඒ කීම පිලි අරන් ඔන්න ඉතින් අර කලින් දවසේ බොන්න ගියා වගේ මතක ඒරියා එකට ගිහින් ගෙවල් වලින් අහ අහ යනවලු " මෙහෙ තියෙන්නේ රත්තරන් පාට කොමඩ් එකක්ද?.." කියලා.


ඔය විදියට යනකොට එක ගෙදරක ගෑණු කෙනෙක් මිදුල අතු ගගා ඉන්නවලු. අපේ පොර වැට ගාවට ගිහින්  සුපුරුදු ප්‍රශ්නේ ඇහුවලු. ගෑණි අපේ පොර දිහා ටිකක් වෙලා බලන් ඉදලා එකපාරටම ඉදල බිම දාල ගේ පැත්තට හැරිලා  මෙන්න මෙහෙම කෑ ගැහුවලු..


"ස්ටැන්ලි.. මෙන්න ඊයේ ඔයාගේ සැක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලෝ....."

Friday, June 29, 2012

ඔයාගේ ලේන්සුවේ හොටු ..



ඔන්න මං ලියන්න යන පලවෙනි කතාව..


මේ සිද්දිය වුනේ මං 8 වසරේ ඉන්න කාලේ. මුලින්ම මගේ ඉස්කෝලේ ගැන කියලා ඉන්න එපායැ ඔක්කොටම කලින්. මං ඉස්කෝල 3 කට ගිහින් තියෙනවා.මුලින්ම ගියේ කන්ද උඩරට රාජධානියක් වෙලා තිබුණු නගරේ ඉස්කෝලෙකට.(ඔයාලට හිතෙන අවසන් රාජධානිය නෙවෙයි.ඊට කලින් තිබුණු එකක්.) ඒ ඉස්කෝලේ හිටියේ මාස 3 යි. අපේ තාත්තා ගේ මාරු වීමත් එක්ක ඒකෙන් අයින් වෙලා එහෙ ඉස්කෝලෙකට ගියා. ඒක බාලක පාසලක්. එකෙත් හිටියේ 5 වසර ඉවර වෙනකන් විතරයි. එට පස්සේ ආයෙත් අර කලින් කියපු රාජධානි නගරේ රජ කෙනෙක්ගේ නමක් තියෙන ඉස්කෝලෙකට ගියා. ඒක ලොකු ඉස්කෝලයක්. හැබැයි මිශ්‍ර පාසලක්. 6 ඉදන් තමයි පන්ති තිබුනේ. ඉතින් මං 6 වසරේ ඉදලා A/L ඉවර වෙනකන්ම හිටියේ ඒ ඉස්කෝලේ. දැනට ඇති ඉස්කෝලේ ගැන.දැන් ආයෙත් කතාවට..


අපේ ඉස්කෝලේ 8 වසරේ පන්ති 03ක් තිබුනා A,B,C කියලා. මං හිටියේ B එකේ.ඔන්න ඉතින් ඒක දවසක්  C එකට අලුතෙන් කෙල්ලෙක් ආවා. කෙල්ලගේ නම ප්‍රියංකා. කෙල්ලගේ ගතියක් තිබුනා. ප්‍රියංකාගේ කොන්ඩේ කපලා තිබුනේ ඒ කාලේ තිබුණු කට් එකකට. (කෙල්ලට වහ වැටුණු මගේ යාලුවෙකුත් ඒ විදියටම කොන්ඩේ කපලා ඉස්කෝලෙන් කොන්ඩේ කපන් එන්න කියලා බනුමුත් ඇහුවා. ඒ කාලේ කට් තහනම් ඉස්කෝලේ කොල්ලන්ට.) ඉතින් දැන් ඉස්කෝලේ කොල්ලෝ පැණි හලනවා ප්‍රියංකාව සෙට් කරගන්න. මගේ යාළුවොත් එහෙමයි.(මාත් හැලුවා පැණි. ඒත් හිතෙන්.හැබැයි කව්රුවත් දන්නේ නෑ ඒක.) 8 වසරේ හිටියට අපිටත් ඉතින් ඒ කාලේ කෙල්ලෙක්ව සෙට් කර ගන්න පිස්සුව තමා තිබුනේ.  දැන් ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.


 දවසක් උන්ගේ පන්තියේ එවුන් පන්තියේ හිටියේ නෑ. මොකද්දෝ වැඩකට එලියට ගිහින්. දැන් මගේ පැණි හලපු යාලුවොන්ට ඕනේ උනා  පන්තියට ගිහින් කෙල්ලගේ බෑග් ඒක ඇදලා බලන්ට. එකේ මොනවද තියෙන්නේ, මොනවද ගන්ට පුළුවන් දේවල් ඒ කෙල්ලව මතක වෙන්ට. ඒ කාලේ අපි පැණි හලන කෙල්ලෙක් ඉරලා විසික් කරන කොළ කෑල්ලක්,කාලා විසික් කරන ටොෆී කොලයක්  පවා ලොකු දෙයක් කෙල්ලව මතක වෙන්ට තියාගන්න.( මං ගාවත් ඒ වගේ ඒවා හුගක් තිබුනා.ප්‍රියංකගේ ඒවත් තිබුනා. ඒ මං අනිත් එවුන්ට නොදැනෙන්න ගත්ත ඒවා.)


ඉතින් දැන් අපේ එවුන්  ගිහින් එක එක දේවල් අරන් ආවා ඒ කෙල්ලට ගාව තිබුණු දේවල්. අපේ පන්තියේ හිටියා ලක්මාල් කියල හෙන පිස්සු වැඩ කරන පොරක්. මේ යකා ගිහින් කෙල්ලගේ ලේන්සුව අරන් ඇවිත් . දැන් ඉතින් කෙල්ලගේ බෑග් ඇදලා මතක සටහන් අරන්, ඒක තිබුණු විදියට තියලා  කට්ටිය කොරිඩෝවට වෙලා හිටියා. ඔන්න දැන් ඔහොම ඉද්දි ඒ පන්තියේ එවුන් පෝලිමට එනවා පන්තියට.ප්‍රියංකා අපේ සෙට් එක ළගින් යද්දී එක පාරම ලක්මාල් කිව්වේ නැතැයි ,


"ප්‍රියංකා, ඔයාගේ ලේන්සුවේ හොටු බෝල බෝල ගොඩක් තියෙනවා.ඒවා කැරකෙනවත් එක්ක. ආ... මේක අරන් යන්න" කියලා කියන ගමන් ලේන්සුව දික් කරා.


අපිත් ෆුල් අන්දුන් කුන්දුන්.මොකද මේකා අපිට කිව්වේ නෑනේ එහෙම එකක්. කෙල්ලට හෙන අවුල  ඒ වැඩෙන්. ඇයි, කොල්ලෝ ගොඩක් මැද එහෙම නොන්ඩි වෙද්දී මොකාද අවුල් නොවී තියෙන්නේ.
ඉතින් ප්‍රියංකා ලේන්සුව ගන්න ගමන් ලකමාල්ට කිව්වා,


"තමුසේ මොකද මගේ ඒවා අදින්න ගියේ? තමුසේ තමුසෙගේ වැඩක් බලා ගන්නවා " කියලා. ඒ වෙච්ච වැඩේට  ඇති උනා දවසම හිනා වේවි ඉන්න අපේ එවුන්ට. ප්‍රියංකා එදා ඉදන් අපේ පන්තියේ එවුන්ට රව රවා  තමා හිටියේ කාලයක් යනකන්.


( මේ කියන නම් නෙවෙයි එයාලව දැනන් හිටියේ.)


Thursday, June 28, 2012

හා හා පුරා...

ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නයි යන්නේ.මෙච්චර කාලයක් හිතේ තිබුණු අදහසක් අදයි ඉටු කරගන්න පුළුවන් වුනේ.බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ කියල හිතන හිටියට එකට වෙලාවක් ලේසියෙන් හම්බුනේ නෑ. හම්බවුනත් පටන් ගෙන කරන් යන්න හිතුනේ නෑ. ඒත් මේවතාවෙනම්  විදියට කරන් යන්න හිතා ගත්තා.. ඉතින් අද ඉදන් "ඉෂාන්ගේ සටහන්" බ්ලොග් අවකාශයට එකතු වෙනවා.ලියන්න ලොකු දක්ෂ කමක්නම් මට නෑ. ඒත් පුළුවන් විදියට ලියනවා.මේක කියවන අයගේ අදහසුත් ගොඩක් ඉවහල් වෙයි මට මේක ඉස්සරහට කරන් යන්න..


ඉතින් ලියන්න පටන් ගමු නේ..?