Tuesday, August 14, 2012

මට කරදර කරන්න එපා..!! - නෙත්මි අවසාන කොටස..


පහුගිය දවස ටිකේම බ්ලොග් එකේ පොස්ට් වලට වැටුනේ විහිලු කතා නොවැ. ඒ දවස් වල තිබුණු වඩාත් එක්ක ඒ වගේ එකක් ලියන එක ලේසි වුනා ටිකක් දිග පොස්ට් එකක් ලියනවට වඩා.අද තමා ටිකක් ෆ්‍රී එකේ ඉන්නේ.ඉතින් අද නෙත්මි ගැන ලියාගෙන ආපු එකේ ඉතිරි ටික ලියලා ඉවර කරන්න හිතුවා.අතීත කතාවක් නේ මේ.. ඉතින් නිදහසේ ඒවා මතක් කරලා ලියන්න එපැයි.. නෙත්මි මුල් කොටස් දෙක බැලුවේ නැත්නම් / බලපු අයට අමතකනම් මෙතනින් බලලා ඒ.


නෙත්මි ගැන හිතන එක නවත්වනවා කියලා හිතාගෙන එදා උදේ හිතන් හිටියට එහෙම කරන්න බැරිවුනා. උදේ වුනු දේ ගැන හිත හිතා හිටියා මිසක් ඉස්කෝලේ වැඩක්වත් හරියට කරේ නෑ. ඉස්කෝලේ ඇරිලා වෙනදා වගේම ලොකු අම්මලාගේ ගෙදර ගිහින් ස්ටේෂන් එකට එද්දී දිල්හාන්ව මගදී සෙට් වුනා. දිල්හාන්  වාසනාව මීට් වෙලා දෙන්න තියෙන පොත දෙන්නයි කෝච්චියේ යන්න ආවේ. ඉතින් තුන්දෙනා (ඉෂාන්,ඉෂාන්ගේ මලයා,දිල්හාන්) ස්ටේෂන් එකට ඇවිත් හොයලා බැලුවා වාසනා කොහෙද ඉන්නේ කියන එක. බලද්දී වාසනා ඉන්නවා නෙත්මිත් එක්ක වාඩි වෙලා. නෙත්මිත් එක්ක තරහ තිබුණට වාසනත් එක්ක තරහක් තිබුනේ නැති හින්දා ඉෂාන්ලා ගිහින් නෙත්මිලා හිටපු එකේම වාසනා ඉන්න පැත්තේ වාඩි වුනා.

"උදේ කට්ටිය පාරේ කෙල්ලෙක්ට නම් කිය කියා රණ්ඩු ඇල්ලුවලු නේ..? " වාසනා ඇහුවා.ඒක ඇහෙද්දී ඉෂාන් හොරෙන් බැලුවා නෙත්මි දිහා.බලද්දී නෙත්මිත් හොරෙන් බලනවා.දෙන්නටම මාට්ටු දෙන්නා හොරෙන් බලපු එක.එහෙමම දෙන්නා අහක බලාගත්තා.

"කවුද කිව්වේ..? එහා පැත්තේ ඉන්න කෙනාද..?" දිල්හාන් උත්තර දුන්නේ වාසනා අහපු එකට.

"ඔව්.. එහෙම කරපු එක හොද නෑ නේ.? කෙල්ලෙක්නේ හලෝ මොනවා වුනත්.පාරේ එහෙම කියන එක හරිද..? ඔයාලට තව ටිකක් හිතන්න තිබුණා.." වාසනා ටිකක් සීරියස් විදියට කිව්වා.

"එහෙම වෙන්න ඇති. ඒ වුනාට එයාට වැඩක් නෑනේ මට එක එක නම් කියන්න.ඒකයි මට තරහ ගියේ.." ඉෂාන් ඒකට උත්තර දුන්නා.වාසනා ඊටපස්සේ.,

"හරි හරි.. දැන් වෙච්ච දේ වුනා. දැන් ඔයාලා ඔය තියෙන තරහ අමතක කරලා ඉස්සෙල්ලාම යාලු වෙන්නකෝ.. ඊට පස්සේ ඕන දෙයක්. නැද්ද දිල්හාන් අයියා.." 

"ඔව් ඔව්.. ඉස්සෙලාම උඹලා සාමදාන වෙයන්.මොකද කියන්නේ දෙන්නා., කැමතිද වැඩේට..? " දිල්හානුත් ඒ පාර වාසනාගේ පැත්ත අරගෙන කියන්න පටන් ගත්තා.ඉෂාන් බැලුවා නෙත්මි දිහා. අවුලක් නෑ වගේ මූණේ උදේ වුනු වැඩේට. ඒත් නම් කියපු තරහා තාමත් හිතේ තියෙන හින්දයි,සෙකන්ඩ් වෙන්න අකැමති හින්දයි ඉෂාන් ටිකක් වෙලා කල්පනා කරලා.,

"මුලින් නෙත්මිට කියන්න මට සොරි කියන්න කියලා.. මං නෙවෙයිනේ වැරැද්ද කරේ මුලින්ම.එයානේ.ඒ හින්දා එයා කිව්වම මාත් කියන්නම්.." ඉෂාන් නෙත්මිට ඇහෙන විදියට එයා දිහා බලාගෙනම කිව්වා. වාසනා නෙත්මි දිහාට හැරිලා.,

"ඔයා ඉස්සෙල්ලා කියන්න නෙත්මි.. ඊට පස්සේ එයා කියයි."

නෙත්මිත් ටිකක් වෙලා ඉෂාන් දිහා බලන් ඉදලා හෙමිහිට..

"සොරි.."

"මොකා.. මට ඇහුනේ නෑ හරියට. ටිකක් සද්දෙන් මට ඇහෙන විදියට කියන්න පුලුවන්නම් හොදයි.." ඉෂාන්   ටිකක් සැරෙන් වගේ කිව්වා..

"සොරි.." ඒ පාර නෙත්මි ටිකක් හයියෙන් කිව්වා ඉෂාන්ට ඇහෙන්නම..

"ආ.. ඒකද කලිනුත් කිව්වේ..?" ඉෂාන් ඇහුවා.නෙත්මි ඔළුව හෙල්ලුවා ඉෂාන් එයාගෙන් අහපු දේට.ඉෂාන් නෙත්මි දිහා බලලා..

"හරි.. මාත් එහෙනම් සොරි කිව්වා ඕං.. ඇහුනනේ කට්ටියටම. ආ.. "

"හරිනේ එහෙනම් දැන්. දැන් දෙන්නා ෆිට් නේ..?" දිල්හාන් නෙත්මියි ,ඉෂාන්ගෙයි දිහා මාරුවෙන් මාරුවට බලලා ඇහුවා..

"මගේ පැත්ත නම් හරි.. එතකොට අර කැහැට්ටි.." ඉෂාන්  ආයෙත් අවුස්සන වගේ නෙත්මි දිහා බලලා ඇහුවා.

"මොනවද හලෝ ආයෙත් නම් කියන්නේ. ආයෙත් රණ්ඩු වෙන්නද ඕනේ නෙත්මිත් එක්ක..?.දැන් සොරි කිව්වනේ.ආය මොකටද පරණ දේවල් ඇදලා ගන්නේ.." වාසනා බර බරේ දැම්මා..

"නෑ නෑ.. මං මේ නිකන් කිව්වේ.විහිලුවට.ඉතින් නෙත්මි ෆිට්ද දැන් මාත් එක්ක..?" ඉෂාන් නෙත්මි දිහා බලලා  ඇහුවා.

"හ්ම්ම්..." නෙත්මිගෙන් සද්දේ විතරයි..

එහෙම තමා නෙත්මියි,ඉෂානුයි ෆිට් වුනේ.උදේ බැනගෙන හවස ෆිට් වුණා.ඉතින් එහෙම පටන් ගත්ත ෆිට් එක උදේට කෝච්චියෙන් බැහැලා ඉස්කෝලේ යද්දී දෙන්නා කතා කර යන්නත් හවස කෝච්චියේ ගෙදර එද්දී එකට එන්නත් පටන්ගත්තා..ඉෂාන්ගේ හැම පොතකම වගේ නෙත්මිගෙ නමේ මුල් අකුර ඇදලා තිබුණා.ඒවා නෙත්මි දැකලා තිබුණා.ඉෂාන්ගේ පර්ස් එකේ අලවලා තිබුණා සමනලයෙක්ගේ පින්තුර දෙකක්. ඒ ඉෂාන්ගේ අම්මා රට ඉදලා එද්දී ඉෂාන්ගේ නංගිලාට ගෙනාව කොන්ඩකටු වර්ගයක්.ඉතින් එකේ කට්ට අයින් කරලා උඩ කොටස තමා පර්ස් එකේ අලවන් හිටියේ. දවසක් ඒක නෙත්මි දැකලා එයාටත් ඕනේ වුණා ඒ වගේ කොන්ඩකටු දෙකක්.ඉෂාන් කරේ අම්මා ගෙනත් තිබුණු කොන්ඩ කටු සෙට් එකෙන් ඒ දෙකක් හොරෙන් උස්සලා නෙත්මිට ගිහින් තෑගී කරපු එක.ඒක තමා ඉෂාන් නෙත්මිට මුලින්ම දුන්නේ.

 එක වතාවක් මොකක් හෝ දෙයකට තරහ වෙලා හිටපු නෙත්මිව යාළු කරගන්න චොකලට් එකක් අරන් තියන් හිටියා. හැබැයි ඒක දෙන්න වුනේ නෑ. චොකලට් එකට ඉස්කොලේදීම ඉෂානුයි, එයාලගේ යාළුවොයි වග කිව්වා.තවත් වතාවක නෙත්මිගෙ තාත්තා   (ඉෂාන්ගේ මලයා කිව්වේ ඒ කෙනාට පූසාරි කියලා.ඒක කටට ආව නමක්.) ඉෂාන් නෙත්මිත් එක්ක කතා කරනවා දැකලා තිබුණා.නෙත්මි ෂේප් වෙලා තිබුණේ ඒ එයා අදුරන අක්කා කෙනෙක්ගේ මල්ලි කෙනෙක් ඇවිත් පණිවිඩයක් ඇහුවා කියලා.  එදා ඉදලා ඉෂාන්,නෙත්මි ටිකක් පරිස්සම් වුණා දන්නා කියන අයගෙන් වහන් වෙලා ඉන්න.

මේ විදියට මාස තුනක්,හතරක් ඉෂාන්ගෙයි,නෙත්මිගෙයි බැදීම තිබුණා.දෙන්නගෙන් කව්රුහරි ඉස්සෙල්ලා ඇවිත් හිටියොත් අනිත් කෙනා එනකම් බලන් ඉන්න,ඒ ගැන හොයලා බලන්න තරම් දෙන්නාගේ බැදීම දුර ගිහින් තිබුණා.හැබැයි දෙන්නගෙන් කොයිම වෙලාවකවත් කියවුනේ නෑ 'මං ඔයාට ආදරෙයි' කියන එක. ඒ වුනාට දෙන්නා දැනන් හිටියා දෙන්නට දෙන්නා ආදරේ කරනවා කියන එක.ඒත් කියවුනේ නෑ.හිතේ විතරයි.

ඉෂාන්ගේ ඉස්කෝලේ යාලුවෙක්ට නෙත්මිත් එක්ක කෝච්චියේ යන ගෑණුළමයෙකුට හිත ගිහින් තිබුණා.යාළුවා කිව්වා ඉෂාන්ට නෙත්මිගෙන් මේ ගැන අහලා දෙන්න කියලා.යාලුවෙක් හින්දා මේ වැඩේ කරලා දෙන්න ඕනේ කියලා ඉෂාන් මේ ගැන නෙත්මිට කිව්වා. නෙත්මි ඒකට කැමති වුනේ නෑ. එයා ඉෂාන්ගේ යාලුවට කැමැත්තක් පෙන්නුවේ නෑ.ඉෂාන් ගිහින් යාලුවට කිව්වා සීන් එක. ඒත් යාළුවා 'ඒක කොහොමහරි කරලා දියන්' කියලා කිව්වා.ඉතින් ඉෂාන් හවසත් කෝච්චියේ යන ගමන් මේ ගැන නෙත්මිට කිව්වා.නෙත්මි බෑ ම කියලා තමා කිව්වේ. කොහොම හරි එදා හවස දෙන්නා කෝච්චියෙන් බැහැලා ගෙදර ගියේ එච්චර හිත හොදින් නෙවෙයි.ඊලග දවසේ උදෙත් නෙත්මිව හම්බවෙලා..

"මේ නෙත්මි.. අරයගෙන් අහලා දෙන්නකෝ.යාලුවා හොදයි හලෝ.ඔයා වැරදියට එයා ගැන හිතන් ඉන්නේ.."

"මං කිව්වනේ බෑ කියලා. එයාට ගිහින් අහගන්න කියන්නකෝ..."

"මොනවද හලෝ.. මං මගේ යාළුවා වෙනුවෙන් උදවුවක් ඉල්ලුවම කරලා  දෙන්න බැරිද.? "

නෙත්මිගෙන් උත්තර නොදී යනවා ඉස්සරහට.. ඉෂාන්ට ටිකක් තරහ ගියා ඒ වැඩෙන්..

"ඔයාට දැන් බෑ කියලද කියන්නේ මේ වැඩේ කරලා දෙන්න..? මට උදවුවක් කරලා දෙන්න බෑ කියලනේ ඔයා කියන්නේ.වැඩක් නෑ ඔයාගෙන්නම්.ඔයානම් මහ..."

" මට කරදර කරන්න එපා..!!" නෙත්මි තරහෙන් කිව්වා එකපාරම හැරිලා...

නෙත්මි ඒ ටික කිව්වාම ඉෂාන්ට හිතුනේ නෙත්මිට ඉෂාන්ව කරදරයක් කිව්වා කියලා.ඉෂාන් හිතුවේ නෑ ඒ වගේ දෙයක් නෙත්මිගෙන් අහන්න ලැබෙයි කියලා.බලාපොරොත්තු වුනෙත් නෑ.ඉෂාන් එයත් එක්ක යන ගමනේ වේගය හෙමිහිට අඩු කරා. ටිකක් දුර ගිහින් නෙත්මි ආපහු පස්ස හැරිලා බලලා නැවතිලා ඉන්නවා ඉෂාන් දැක්කම ඉෂාන් කරේ යන වේගේ තවත් අඩු කරපු එක. නෙත්මි ටිකක් වෙලා බලන් ඉදලා ආපහු ඉස්කෝලේ පැත්තට යන්න පටන් ගත්තා.ඉෂාන්ගේ හිතේ නෙත්මි ගැන තිබුණු ආදරය,හැගීම අඩු වෙලා යන්න පටන් ගත්තා ඒ වචන ටිකෙන්.ඉෂාන් හිතාගත්තා ආය නෙත්මි මීට් වෙන්න යන්නෑ කියලා .

එහෙම හිතලා එදා ඉෂාන් කලින් ගෙදර ගියා. ඉස්කෝලේ එක්සෑම් තිබුණු දවස් නිසා එක්සෑම් ඉවර වුනාම 11 වසර පන්ති වල ළමයින්ට  ගෙදර යන්න ඉස්කෝලෙන් ඉඩ දීලා තිබුණා.ඒ O/L එක්සෑම් එකටත් වැඩිය දවස් තිබුණේ නැති හින්දා ළමයින්ට පාඩම් කරන්න.ඉතින් ඉෂාන් වෙනදා වගේ නෙත්මි මීට් වෙන්න ඉන්නැතුව ගෙදර ගියා.එක්සෑම් ඉවර වෙලා O/L වලට ඇඩ්මිෂන් අරන් ගෙදර නැවතුනා.ආය ඉස්කෝලේ නිවාඩු දෙන සතියේ ඉස්කෝලේ ගියේ අන්තිම දවසේ විතරයි.නෙත්මිවත් හම්බවෙන්න හිතාගෙන තමා එදා ඉස්කෝලේ ගියේ. ඒත් එදා නෙත්මි ඇවිත් තිබුණේ නෑ.ඒත් ඒක ලොකුවට දැනුනේ නෑ හිතට.හිත හැදිලා තිබුණේ ඉෂාන්ගේ.ඊට පස්සේ ඉෂාන් O/L එක්සෑම් එකට ලෑස්ති වුණා ඒවා අමතක කරලා.

ඉෂාන් හිතුවේ නෑ ඒ දවස් වල අන්තිමට  රණ්ඩු වුණු දවස තමා නෙත්මිව දැක්ක අන්තිම වතාව හා ඒ කියපු වචන ටික තමා අන්තිමට අහපු වචන ටික කියලා.ඉෂාන්ගේ මලයනම් නෙත්මිව දැකලා තිබුණා කිහිප සැරයක්ම.O/L වලින් පස්සේ ඉෂාන් ඉන්න ටවුන් එකේම Computer Class එකකට එයාගේ තාත්තා දැම්මා.සතියේ දින පහේම අප්‍රේල් වෙනකන්ම එකේ ක්ලාස් තිබුණා.ඒ හින්දා ඉෂාන්ට එයාගේ යාළුවෝ හම්බවෙන්න යන්න වුනේ නෑ O/L ප්‍රතිපල එනකන්ම.නෙත්මි වත් බලන්න යන්න චාන්ස් එකක් තිබුණේ නෑ  ඒකෙන්. ප්‍රතිපල ඇවිත් ඉස්කෝලේ යන්න පටන්ගත්තාම ඉෂාන් හොයලා බැලුවා නෙත්මි ගැන. ඉෂාන්ට දැන ගන්න ලැබුනා නෙත්මි ඒ අවුරුද්දේ මුල් දවස්වලම ඉස්කෝලෙන් අස්වෙලා ගිහින් කියලා. නෙත්මිගෙ ඇස් ඔපරේෂන් කරලා  කියලාත් ආරංචියක් ආවා.කොහොම හරි වුනේ මාස ගානකට පස්සේ ඉෂාන් එයාව හොයාගෙන යද්දී නෙත්මි ඉෂාන්ගෙන් ඈත් වෙලා ගිහින් කියන එක.ඉෂාන්ට ඉතුරු වෙලා තිබුණු එකම බලාපොරොත්තුව වුනේ නෙත්මිව දැකගන්න.ඊට පස්සේ එයාගෙන් එක දෙයක් දැනගන්න.. 


පසු සටහන : 

2007.12.-- ඉෂාන්ට ආපහු නෙත්මිව දකින්න ලැබුණා.ඒ අවුරුදු තුනකට පස්සේ.ඉෂාන්ගේ මලයා තමා එයාව දැකලා තිබුණේ.ඉෂාන් ඉන්න ටවුන් එකේම ඉස්කෝලෙක O/L ලියනවා කියලා.ඉෂාන්ට ඒ ආරංචිය ලැබුණා විතරයි ඉෂාන් ඊලග දවසෙම ගියා නෙත්මිව බලන්න. නෙත්මිව දකින්න ලැබුණා.නෙත්මිත් ඉෂාන්ව දැක්කා.එදා ඉෂාන් කැප් එකක් දාන් හිටියේ.(ඉෂාන්ට නෙත්මිව මුලින්ම හම්බවුනු කාලේ ඉෂාන් කැප් දම්මේ නෑ).ඉෂාන් හිතුවේ නෙත්මිට එයාව අදුරගන්න බැරිවෙයි කියලා.ඒත් නෙත්මි ආවේ ඉෂාන් දිහාම බලන්.නෙත්මිත් එක්ක කතා කරන්න ඉස්සරහට යන්න හදද්දිම ඉෂාන් දැක්කා නෙත්මිගෙ තාත්තා එයාව  එක්කන් යන්න  ඇවිත් ඉන්නවා.නෙත්මි එහෙමම තාත්තා ලගට ගිහින් එයත් එක්ක යන ගමන් පස්සහ හැරී හැරී ඉෂාන් දිහා බල යනවා ඉෂාන් දැක්කා. නෙත්මි එතනින් නොපෙනී යනකන්ම ඉදලා ඉෂාන් ආවා.ඊලග දවසෙත් ගියා නෙත්මිව බලන්න.ඒ එක්සෑම් එකේ අන්තිම දවස.ඒත් එදා ඇවිත් නෑ නෙත්මි.ඉස්කෝලේ හිටිය අන්තිම ළමයා ගේට් එකෙන් පිට වෙනකන්ම බලන් ඉදලා ආවා එදත් ගෙදර.

ඊටත් පස්සේ කාලෙක නෙත්මිව ළගටම හම්බවුනත් ඉෂාන්ට එයත් එක්ක කතා කරන්න ශක්තියක් තිබුණේ නෑ. ඒ ඇයිද කියන්න අදටත් ඉෂාන්ට තේරෙන් නෑ..

ප/ලි  :
පුළුවන් තරම් කෙටියෙන් තමා ලිව්වේ.එකෙන්ම ඉවර කරන්න ඕන කියලා හිතපු හින්දා.මේකත් දිග වැඩියි වගේ අෆ්ෆා...  :( කලින් කොටස් කියවලා සමහර අය කියලා තිබුනනේ ඉක්මනට ලියහන්,ඉවර කරහන් කියලා. ඒකයි මේ.. අදින් නෙත්මිගෙ කතාව ඉවරයි.. කලින් කොටස් කියවලා කමෙන්ට් කරපු,නොකරපු හැමෝටම ස්තුතිය..

15 comments:

  1. අවුරුදු තුනකට පස්සෙද නෙත්මි O/L කලේ? අසනීප නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ. නෙත්මි අවුරුදු 2යි බාල.එයා O/L ලියන්න ඕන අවුරුද්ද 2006. 2007 ලිව්වනම් ඒක එයාගේ දෙවෙනි වතාව.නැත්නම් ඇස් ඔපරේෂන් කරා කියන කතාව ඇත්තනම් ලියන්න ඇත්තේ පලවෙනි වතාව.ඒ ගැන හරියටම කියන්න දන්නෑ.. :(

      Delete
  2. අවුරුදු 3ක් බාල කෙල්ලෙක්ද ????

    ReplyDelete
  3. haiyo.......madai una wadak. :)

    ReplyDelete
  4. හෆෝයි දුක හිතෙන අවසානයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ජිවිතේ හැමදාම තමන්ට ඕන කරනදේ ලැබෙන්නේ නෑනේ මචන්..

      Delete
  5. දැන් කෝ එයා? හ්ම්ම්..කොහොම උනත් මට මේ කතාව හොඳට මතක හිට්ටා.. :)

    ReplyDelete
    Replies
    1. එයාව ආය මං අන්තිමට දැක්කේ 2009ද කොහේදෝ. එයින් පස්සේ ආය නෑ. කොහොමද මේ කතාව ඒ තරම් මතක හිට්ටේ.? :)

      Delete
  6. oya thawama ayata adare kranawa kiyala ntiunata. 1st lv amthaka wen nalu

    ReplyDelete