Sunday, August 26, 2012

ඇයි මේ ගෑණු අය ඇඳුම් තෝරද්දී සෑහීමකට පත් වෙන්නේ නැත්තේ..?


මිනිසාට නැතුවම බැරි දෙයක්නේ ඇඳුම් (වස්ත්‍ර) කියන්නේ.මානව සංහතියේ ආරම්භයේදී මානවයන් ඇඳුම් ඇන්දේ නැති වුනාට පස්සේ කාලෙක ඇඳුම් අදින්න පුරුදු වුනානේ.ඉතින් ඒ කාලේ ඉදන් අද වෙනකම්ම වස්ත්‍රත් ක්‍රමක්‍රමයෙන් එක එක ආකාරයට විකාශනය ( ඒ කියන්නේ ඒවයෙත් පරිණාමයක් ) වෙන්න පටන්ගත්තා.ඉතින් අද කතා කරන්නේ ඇඳුම් වල පරිණාමය ගැන නෙවෙයි. මේ ඇඳුම් එක්ක මට තියෙන අත්දැකීම් ටිකක්..

ඒ ටික කියන්න කලින් ඉෂාන්ගේ පවුලේ අය ගැනත් කියලා ඉන්න වෙයි. ඉෂාන්ට ඉන්නවා එක මල්ලි කෙනෙකුයි , නංගිලා දෙන්නෙකුයි.(මලයා ගැනනම් මං කලින් ලියලා තියෙනවා). ආය අම්මා,පපා.. ( අපි අපේ තාත්තට කියන්නේ පප්පා කියලා. ඒ නම එයාලගේ පරම්පරාවෙන් එන එකක්. ඉතින් අපිත් පපා කියන්නේ ). ඉතින් අපේ පපා එක්ක ඇඳුම් ගන්න ගියාම අපිට හිතට අල්ලන එකක් කොහොමත් ගන්න බෑ. එයා කියන එකම තමා ගන්න ඕනේ.. අපේ පපා කියන විදියට 'මනුස්සයෙක් ඇඳුමක් ගද්දී බලන්න ඕනේ පිළිවෙලකට, ලස්සනට,වැදගත් විදියට තැනකට ඇදන් යන්න පුළුවන් වෙන විදියේ එකක් ' කියලා.එතකොට තමා මිනිස්සු හොද ඇහැකින් බලන්නේ. නැත්නම් මිනිස්සු එයා දිහා බලන්නේ රස්තියාදු කාරයෙක් දිහා  බලන විදියට. එතකොට උන් කියන්නේ ' බලාපල්ලකෝ මහ මිනිහා ඉන්නවා රෙස්පෙක්ට් එකට.ඒකට ළමයි ඉන්න විදිය..' එහෙම තමා අපේ පපා කියන්නේ.ඉතින් අපේ පපා කැමති නෑ කාගෙන්වත් ඒ වගේ දෙයක් අපිට අහන්න වෙනවට.. ඉතින් අවුරුදු 20 ක්ම මගෙයි, මල්ලිගෙයි කොන්ඩේ කැපුවේත්, අපිට ඇඳුම් තෝරලා දුන්නෙත් එයා තමා.
( මං අපේ පපා ගැන වෙනම පොස්ට් එකක් ලියන්න ඉන්නේ. ඒකෙ වැඩි විස්තර තියේ )

හැබැයි ඒ දේ මටයි,මලයටයි වුනේ A/L වෙනකම් විතරයි. ඊට පස්සේ එයාගේ ප්‍රතිපත්ති ටිකක් ලිහිල් කරා. හැබැයි ගන්න ඇදුම් හරි නැත්නම් එයා කියනවා ඒක හරි නෑ කියලා.ඒ වුනත් ඉෂාන්ගේ තේරීම වුනේ ඩෙනිම්, ටී , කැෂුවල් ෂර්ට්. මලයා වෙලාවකට ඩිසන්ට් ඇඳුම් ගන්නේ.එතකොට ඉෂාන්ට බැනුම්. ඊට පස්සේ පපා හොද ෂර්ට්,කලිසම් ගෙනත් දෙනවා "මේවා අදින්ට.ඔය අරන් තියෙන ඒවා හැමතැනටම අදින්න බෑනේ.." කියලා. ඉතින් දැන් සති දෙකකට කලිනුත් හොද කලිසම් වගයක් දැක්කා කියලා මට දෙකක් ගෙනත් දුන්නා. ගිය සතියෙත් මං පොඩ්ඩක් බැනුම් ඇහුවා එයාගේ දුර  ඉන්න නෑ කෙනෙක්ගේ මළ ගෙදරකට යන්න ගිහින්.ඒ මං ඇදන් හිටිය ඇඳුම දැකල. මං ඩෙනිමක්,උඩින් දාන ෂර්ට් එකක් ඇන්දා. ඒකට එයා කැමති උනේ නෑ. අපේ ආම් තමා ශේප් කරලා යැවුවේ.. කොහොමත් අපේ පපා එක්ක ලේසි නෑ ඇඳුමක් අදින්න..

දැන් අපේ නංගිලා දෙන්නා ගැන.. මේ දෙන්නාත් එක්ක ඇඳුම් තෝරන්න ගියාම ටිකක් අමාරුයි. පොඩි නංගි එක්ක කොහොමත් බෑ. හිතට හරියන එක සෙට් වුනේ නැත්නම් ඇවිදින්න ඕනේ හොදම එක හම්බවෙනකම්. එයාට ලේසියෙන් හොදම එක හම්බවෙන්නෙත් නෑ.දකින එකේ මොකක් හරි අඩුවක් තියෙනවා. ලොකු නංගි අවුලක් නෑ. එයාට ගැලපෙනවා කියලා හිතුනොත් එයා ගන්නවා.පොඩි එකා එක්ක බේරෙන්නෙම බෑ.එයාට ඕනේ එක හොයාගන්න ගියේ නැත්නම් මූණ කොහොමටවත් හරි නෑ.හැබයි එයාලටත් පොඩි කාලේ ඇඳුම් තේරුවේ අපේ පපාම තමා.ඉතින් එයාලත් මායි, මල්ලියි වගේම එයා ගෙනත් දෙන ඇඳුම් ඇන්දා.

හැබැයි දැන්නම් මං තමා ඒ රාජකාරිය කරන්නේ. ඇඳුම් වල හොද නරක තෝරලා දෙන්නේ, ඒවා ගැලපෙනවද බලන්නේ මං. නංගිලා දෙන්නා දන්නවා මට කිසිම ඇඳුමක නරකක් පෙන්නේ නෑ කියලා.මං නම් කියන්නේ "මේ කාලේ ස්ටයිල් කරේ නැත්නම් වයසට ගිහින් කරන්නද.. ඒ හින්දා කැමති එකක් තෝර ගන්ට" කියලා. මං තමා දෙන්නාට ඇඳුම් හොයලා දෙන්නෙත් වෙලාවකට.ඉතින් දෙන්නා හරි කැමැතියි මාත් එක්ක යන්න ඒ වැඩේට.ඊට පස්සේ ෆුල් නිදහසේ ඇඳුම් තෝරනවා.ගන්නවා.ගෙදර ඇවිත් ගත්ත ඇඳුම් පපාට අවුල් වගේ නම් පෙන්නේ බැනුම් අහන්නෙත් මං. මන්ලු ඒ දෙන්නව නරක් කරන්නේ. හැබයි කොහොමහරි පපාව ශේප් කරලා  ඒවා අන්දවන්නෙත් මංමයි..

ඇඳුම් හින්දා නංගිලා දෙන්නා වෙනුවෙන් කාපු කටුත් තියෙනවා.එකක් තමා මේ පාර අවුරුද්දට ගත්ත ඩ්‍රෙස් එකට අපේ පපා කැමති උනේ නෑ.ඒවායේ කර නෑ,කොටයි කියලා. කොහොමහරි ශේප් පාර දාගත්තේ ඒවාට ඕවර් කෝට් ගෙනත් අදින්නම් කියලා. ඒ හින්දා ඇඳුම් ගත්ත දවසට පහුවෙනි දවසේ මට ආපහු නුවර යන්න වුනා ඒකට ඕවර් කෝට් හොයන්න.ඒ අස්සේ අපේ ලොකු නගා ගත්ත ලෙග් ඉන් එකක් මාරු කරන් එන්නත් කිව්වා. ගත්ත වෙලාවේ හොදයි කියලා.පස්සේ ඒක එපාලු. ඒක මාරු කරන්න ගිහින් තමා මට එපා උනේ. ගත්ත ෂොප් එකට ගිහින් බලද්දී, ඒකෙ නංගිට ඕනේ ඒක නෑ. අවුරුදු දවස් හින්දා පට්ට සෙනග. ඒකෙන් වෙන ලෙග් ඉන් එකක් අරන් නුවර තියෙන තියෙන ඒකෙම අනිත් බ්‍රාන්ච් එකට ගියා. ඒකෙත් නෑ. ඒකෙනුත් ආයෙත් ලෙග් ඉන් එකක් අරන් පැයක විතර පෝලිමේ ඉදලා ආයෙත් බිලක්‌ අරන් ඒ ෂොප් එකේම තියෙන තුන්වෙනි බ්‍රාන්ච් එකට ගියා. ඒකෙත් තිබුනේ නෑ ඇවිදලා බලද්දී. ගත්තා කෝල් එකක් නංගිට..

"මේ.. අර ලෙග් ඉන් කොහෙවත් නෑ..මෙහෙන් ගැලපෙන එකක් ගේන්නද..?"

"එහෙමද.. පොඩ්ඩක් හොයලා බලනවකෝ.."

"ආයේ කොහේ හොයන්ටද.. දැන් මේ තුනේම බලලා ඉන්නේ.. ආය කොහෙන් හොයන්නද..?"

"එහෙනම් උදේ ගෙනිච්ච එකම ආපහු ගේන්න.."

"තමුසෙට විකාරද.. එහෙනම් මොන කෙහෙල්මලටද ආපහු මාරු කරන් එන්න කිව්වේ ඒක හොදයිනම්.." කියලා ෆෝන් එක තිබ්බා.

ඒ වෙලාවේ උපරිම මළ පැන්නා අන්තිමට කියපු එකට.ඇයි යකෝ බ්‍රාන්ච් 3 ක, කෙල්ලෝ ඉන්න තැනම කෙල්ලොන්ගේ ඇඳුම් අස්සේ ලෙග් ඉන් හොයලා හොයලා, වැඩ කරන කෙල්ලෝ පස්සේ ගිහින් ඇතුලේ ස්ටෝක් එකෙත් හොයලා නැති වුනාම කියනවා 'එහෙනම් ඊයේ ගෙනිච්ච එකම ගේන්න'ලු. ඒක හොයන්න මං මේකෙන් ආපහු එකක් අරන් පෝලිමේ පැයක් විතර ඉදලා කලින් එකට යන්න ඕනේ ගෙනිච්ච එක හොයන්න.හිතලා බලහල්ලකෝ කට්ටේ තරම.. කොහොමහරි ආයෙත් 3 වෙනි බ්‍රාන්ච් එකේ වැඩ කරන කෙල්ලෙක් අල්ලන් ඇතුලේ ස්ටොක් එක චෙක් කරා. ඒ කෙල්ලට මං ගැන දුක හිතිලද කොහේදෝ සෑහෙන වෙලාවක් අරන් හොයලා ලෙග් ඉන් එකක් අරන් ආවා හොය හොයා හිටපු වර්ගෙම. තැන්ක්ස් කරලා ඒ කෙල්ලට ආයෙත් ගත්තා ගෙදරට..

"මේ.. එකක් හම්බුනා.. දැන් හරිනේ ආසාව..?"

"මේ ඒක හොදයිද..? හොදයි කියලා හිතෙනවනම් විතරක් ගේන්න.නැත්නම් ඊයේ එක"

"මේ මගුලක් කතා කරන්න එපා. මේක හොදයි. ආය මට ඇවිදින්න බෑ.."

ඒ අපේ නගලා හින්දා දවසක්ම කට්ට කාලා. ආය ලොකු කට්ටක් කෑවේ මං A/L කරන කාලේ යාලු වෙලා හිටිය ගෑණු ළමයත් එක්ක. ඒ තමා මං කෙල්ලෙක්ට ඉස්සෙල්ලම ඇඳුමක් අරන් දුන්නු පාර. එදත් වුනේ නුවර එක් කොනක (නිමාලි ) ඉදන් අනිත් කොන දක්වා (No Limit) ඇවිද්දා එක ඇඳුමක් හොයන්න. මුලින් සායක් අරන් ඒකට හරියන බ්ලවුස් එකක් හොයන්න තමා ඇවිද්දේ.අන්තිමේදී ඒ කොනටත් ගිහින් ආපහු මේ කොනටම එද්දී සෙට් වුනා සායට හරියන එකක්. ඒ ගෑණු ළමයත් එක්ක මට මතක විදියට ඔය කට්ට තුන වතාවක් විතර කෑවා.දැන් ඉන්න කෙනාට නම් මමම තෝරලා එක පාරක් ඇඳුමක් ගිහින් දුන්නා. ඒක ලේසි වුනා මටම..

ඔය මං ඇඳුම් හින්දා කාපු කටු වල විස්තර ටිකක්. පිරිමියෙක්ට ඇඳුම් තෝරන එක ලේසියි.ඒත් ගෑණු කෙනෙක් එක්ක ගිහින් එයාට ඇඳුම් තෝරනවා කියන්නේ මහා එපාම කරපු වැඩක්.මේ මගේ අත්දැකීම් මත කියන්නේ.මේක කියවන අයගෙන් කව්රුහරි ගෑණු කෙනෙක් එක්ක ඇදුමක් ගන්න ගිහින් තියෙනවනම් දන්නවා ඇතිනේ ඒ කට්ටේ තියෙන රහ.. අනික ඇඳුම් එක්ක බලද්දී ගෑණු අයනම් කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නෑ. එයාලගේ හිත කියන්නේ මීට වඩා හොද එකක් තව ෂොප් එකක තියෙන්න පුලුවන් කියලා.. ඉතින් එයාලා කරන්නේ හොදම එක හොය හොය ඇවිදින එක.

අනික එයාලා හොයන පුංචි දේ පවා අඩුම තැන් තුන, හතරකවත් බලනවා.ගන්න / අදින ඇඳුමටම හරියන විදියට අනිත් දේවලුත් මැච් කරගන්නවා.ගෑණු අය එක ඇඳුමක් අදින්නේ ඇඳුම් කීයක්‌ අල්මාරියෙන් ඇදලා දාලද, කියක් ඇදලා බලලද.. ඒත් අන්තිමේදී ඇදපු ඇඳුම ගැනත් කිසිම සැටිස් එකක් නෑ.පිරිමි එහෙම නෑ. අහු වුනේ මොකද්ද, ඒක දවස් කියක් ඇන්දද, ඒක හෝදලද කියලා බලන්නේ වත් නැතුව ඇදන් යන්නේ..

මං නම් කියන්නේ ගෑණු අයත් එක්ක ඇඳුම් තෝරන්න යන පිරිමින්ට, ෂොප් වල වෙනම කොටසක් වෙන්කරන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න, නෙට් යන්න, ගේම්ස් ගහන්න.. තව අය කිරීම් අඩු මසාජ් ක්ලිනික් වගේ එකක් දැම්මත් පාඩුවක් වෙන එකක් නෑ.මොකද එතකොට පිරිමින්ට වෙන එකක් නෑ ගෑණු අයත් එක්ක ඇඳුම් තෝරන්න යන්න. කැමැත්තෙන්ම එයි..ෂොප් එකට ඇවිත් කියන්න තියෙන්නේ 'ඔයා ඇඳුම් තෝරන් කැමති වෙලාවක එන්න.මං මසාජ් එකක් දාන් එන්නම්.." කියන එක විතරයි.. ගෑණු ටික පුළුවන් තරම් ඉක්මනට ඇඳුම් තෝරන් එන්නේ නැද්ද බලන්න තමන්ගේ මනුස්සයා මොනවද කරන්නේ  බලන්න..

බොරුද මං කියන්නේ..? ආ...

අද ප්‍රශ්ණය : ඇයි ගෑණු අය සෑහීමකට පත් වෙන්නේ නැත්තේ ඇඳුම් තෝරද්දී..?

මේ ගැන දන්න අය කමෙන්ට් එකක් දීලා යන්න...

ප/ලි : 'ලෙග් ඉන්' කියන ඒවගේ පින්තූර වගයක් මේ ලින්ක් එකේ තියෙනවා.ඒ අර කමෙන්ට් කරපු ධම්මික සහෝ වෙනුවෙන්....

46 comments:

  1. අනේ මන්දා ඒක නම් කියන්න තේරෙන්නෙ නෑ ඇදුම් කොච්චර ගත්තත් මදි.අනික හරියන එකක් හොයන්න ගියාම එපා...... වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ .. අපිට තියන වැඩේ තේරෙන්නේ නැද්ද මන්දා මෙහෙම කෙලින්ම කියලත් ..හික්ස්

      Delete
    2. හිකිස්.. ඔය පිලි අරන් තියෙන්නේ.. :)

      Delete
  2. මට නම් එහෙම ඇඳුම් තෝරද්දී ලොකුවට තෝරන්න ඕනේ නෑ.ගොඩක් වෙලාවට යන පලවෙනි සප්පුවෙන්ම ඕන ඒවා ඔක්කොම අරන් එනවා.ඒත් මගේ අක්කිලට තෝරද්දී නම් ඔයිටත් වඩා අමාරුයි.මටත් ගියාම එපා වෙනවා නම් පිරිමි ළමයෙක්ට කොහොම එපා වෙනවා ඇද්ද කියල හිතාගන්න පුළුවන්:D
    ප්‍රශ්නෙට උත්තරේ නම් ඉතින් ගැණු ළමයි සෑහන්න ලස්සනට අඳින්න කැමති එකනේ.එයාලට ඕන අනික් අය අන්දිනවට වඩා ලස්සනට අඳින්න :P

    ReplyDelete
    Replies
    1. එල කෙල්ලෙක්... පුළුවන්නන් මම ඔයාව යාලුකරගන්නවා අම්මපා .. හික්ස්

      Delete
    2. api marry karamuda..mage mobile ekata cl ekak dentoo :P

      Delete
    3. ඕ ඕ .. ගෑණු ගෑණුන්ට සෙකන්ඩ් වෙන්න කොහොමත් කැමති නෑනේ.. :)

      Delete
  3. ehema thamai halo......ganu lamai. :) dan balanna oya unath kamathine oyage ganu lamaya lassanata adan yanawanam.anika itin ganna aduma tamanta hariyannath epai.itin eka nisa tamanta hariyana ekak hambawenakan hoyanawa.mamath oya wage tama,hoda ekak hambawenakan hoyanawa. :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ අරලියා නැඟී දැක්ක කල් .. අයියෝ අපේ ගනු ළමය ලස්සනට අදිනවට කැමතියි.. හැබැයි ඉතින් ඒ ලස්සනට හරියන්න ෆට්ට කට්ටක්නෙ කන්න වෙන්නේ

      Delete
    2. ලස්සනට තියන්න ඕනේ හින්දනේ අමාරුවෙන් වුනත් ඉවසන් ඒ කට්ට කන්නේ.. :)

      Delete
  4. හේතුව හරිම සිම්පල්. ගෑණු අය කෑපී පේන්න අඳින්න කැමතියි. පිරිමි අයට වඩා තමන් ගන්න ඇඳුම ගන්න මිලට වටිනවද කියලා හිතනවා වැඩියි. ඒකේ පාට තෝරනවා වැඩී. ඇඟට ගැලපෙනවද නැද්ද කියලා හිතනවා වැඩී. ඉතින් ගැණු කෙනෙකුට ඇඳුමක් ගන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා වගේම ලේසියෙන් සෑහීමකට පත් වෙන්නෙත් නෑ. ( අත්දැකීමෙන් කිව්වේ ) :D

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් සැහීමකට පත්වෙන්නේ නැහැ.. ලොල් ...

      Delete
    2. දැඩි ලෙසම ලො‍ල්

      Delete
    3. ඇත්තම කියලා.. :)

      Delete
  5. මෙහෙමයි ගෑණු අය යටි හිතින් කැමති අනිත් ගෑණූ අයට වඩා කැපිල පෙන්න අඳින්න වගේම අනිත් ගෑණු අයට ආත්මෙකට හොයා ගන්න බැරි ඇඳුමක් අඳින්න. එච්චර හොයල ගත්ත ඇඳුම වුනත් අහම්බෙන් හරි වෙන ගෑණූ කෙනෙක් අඳිනව දැක්කොත් ඇති වෙන්නේ උහුල ගන්න බැරි තරම් ඊර්ශ්‍යාවක් :D මමත් නිතරම ඇඳුම් ගන්න යන්නෙත් අම්ම, අයියා, තාත්තා එක්ක ඉතින් ඒ හැමෝගෙන්ම බැනුම් අහන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි ඇඳුමක් ගන්න යනව නම්. අපේ අම්ම වුනත් ඉතින් මම වගේම තමයි එයාට ඇඳුමක් ගන්න ගිහාම හැබැයි මම තෝරන වෙලාවට එයාගේ තේරිල්ල අමතක කරල එයත් මගේ ඇගටම ගොඩ වෙනවා. :P

    මට තව තියෙන ප්‍රශ්නයක් තමයි යට ඇඳුම් තෝරන්න ගිහාම එතනටත් සමහර ගෑණූ අය එක්ක එයාලත් එක්ක ආව පිරිමි අය එන එක, (ඔයත් නංගිල එක්ක එතනට යනවද? අපේ අයියයි තාත්තයි නම් එතනට එන්නේ නෑ :D) ඒ වෙලාවකට ඉතින් මට ඕව උස්ස උස්ස බලන්න වස ලැජ්ජයි. අම්ම පෙන්නන මොකක් හරි එකකට ඔළුව හොල්ලන එක තමයි මම කරන්නේ :D ගෙදර ඇවිත් ඇඳල බැළුවම තමයි තරු පෙන්නේ මොකද සයිස් අවුල් :P එවා රිටර්න් කරන්නත් බැරි නිසා අම්ම මට බැන බැන කපල මගේ සයිස් එකට මහල හදල දෙනවා :D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕක නිසාමද කොහෙද අපේ ගනු උදවිය අදින ඇදුම් එන්න එන්න කොට කරන්නේ.. එහෙම ඇදුම් කවුරුවත් අදින්නේ නැහැනේ.. දෙන කොටවෙලා කොට වෙලා ..දැන් නං ගන්න දෙයක නැහැ

      Delete
    2. අපෝ නෑ.. මං ඒ පැත්තට යන්නේ නෑ. බැදපු කාන්තාවගේ මනුස්සයා වෙන්න ඇති එහෙම ඉන්නේ ඒ පැත්තේ.. එකට ජීවත් වෙද්දී දෙන්නගේ ඕනෑ එපාකම්, ආසාවන් තේරෙනවනේ.. :)

      Delete
  6. නොකා නොබී හිටියත් ඒ අයට ලස්සනට අදින්න ඕනි.. අපේ කරුමෙටම තමයි එක එහෙම උනේ.. අංක එක පර්ස් එකට තට්ටු වෙනවා .. අංක දෙක ශ්‍රමය වය වෙනවා.. අයියෝ..... එල කතාව සහෝ ..

    ReplyDelete
    Replies
    1. ehema tamai ayye,kellek ekka yalu unama poddak katu kanna wenawa.......eka nemei ayye oya dan blog eka liyanne nadda?

      Delete
    2. ඇත්ත ඇත්ත.. අපි කොහොම හිටියත් එකයි එයාලට.. :)

      Delete
  7. නෙරංජලාAugust 26, 2012 at 11:20 AM

    මේ කතාව කියවද්දී මට මතක් වුනේ මුස්ලිම් පිරිමි කෙනෙක් අතින් මේ වගේ ලිපියක් කවදාවත් ලියවෙන එකක් නෑ නේද කියල. ඇ ඉතින් එයාල තමන්ගේ ගෑණු අයව ගොණියක් ඇතුලේ හිර කරල ඒ ගැන ආඩම්බර වෙන කොට්ඨාශයක්නේ. හැබැයි අවාසනාවට මුස්ලිම් වෙලා ඉපදුනාට ඒ ගෑණූ අයටත් තියෙන්නේ අනිත් ගෑණු අයට තියෙන හිත්ම තමයි කියල හිතෙන්නේ ඇඳුම් සාප්පු වලදි ඇස්දෙක පවා වහගෙන එන ගොඩක් මුස්ලිම් ගෑණු අය ලස්සන පාට පාට ඇඳුම් අත ගගා පැය ගණන් ඉන්නව දකිද්දී. සමහර විට අවධානයෙන් බලනව නම් ඔයාලටත් ඒ අත්අදැකීම ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.. මේකට වැටිලා තියෙන කමෙන්ට් වලින් දැක්ක වෙනස්ම විදියේ එකක්. ඒ එයාලගේ ආගම අනුව ජීවත් වෙන්න සිද්ධ වෙන හින්දා. හැබැයි සමහර අයත් අදිනවා දැකලා තියෙනවා.ඒකත් සංවර විදියට.

      Delete
    2. නෙරංජලාAugust 28, 2012 at 6:01 AM

      එයාල ඇත්තටම ඔය පේන තරම් සංවර නෑ යාළුවා හැබැයි තමන් තරම් වෙන කවුරුවත් සංවර නෑ කියල ලෝකෙට පෙන්නනව. :P

      Delete
    3. මං කිව්වේ ඇඳුම් ඇදන් ඉන්න විදියෙන්. මං එයාලව ආශ්‍රය කරලා නෑනේ හලෝ සංවරද නැද්ද කියන්න.කොහොමත් කෙනෙක්ව කතාවෙන්,සිනහවෙන්, ඇඳුම් වලින් මනින්න බෑනේ. ඔය සිංදුවකුත් තියෙන්නේ..

      Delete
    4. නෙරංජලාAugust 29, 2012 at 3:14 PM

      ඔව් ඔව් ඒක ඇත්ත, මම ආශ්‍රය කරල තියෙන නිසයි කිව්වේ, ගොඩක් අය සුද්දියන්ටත් වඩා සංකරයි හැබැයි ගෙදරින් එළියට යන්නේ හරිම සංවරයි වගේ තමයි කොයිදේ වුනත් ඕනවට වඩා පරිස්සම් කරන්න ගිහාම ඔහොම වෙනව නිකන් පරිස්සමට තියපු දේ ඈලියාවට ගියා වගේ තමයි :D

      Delete
  8. මම නම් තම ගිහින් නෑ.. අපේ අක්ක එක්ක එකම එක වතාවක් ගියා.. ඒක එච්චර අමාරු උනේ නෑ. ගන්න ගිහිපු එක ඉස්සරහින්ම තිබ්බ නිසා.. බලමුකෝ ඔය කට්ට කන්න වේවිද කියල..
    අනේ මන්ද..? ඔය කොච්චර කරලා ගත්තත් මට ඒකෙ කිසි වෙනසක් නෑනේ.. අපේ මස්සිනා අයියා නම් කියන්නේ..
    ගෑනුත් එක්ක රෙදි ගන්න එකට වඩා.... පිස්සොත් එක්ක ගණන් හදන්න ලෙසිලු...
    පොඩි කලේ අපේ තාත්තත් ඔය නීතියම දැම්මා.. මම කරන්න ආවත් එක්කම ඒක මැකිලා ගියා.. කොච්චරද කිව්වොත් මම මාමගේ wedding (1997) එකට පස්සේ දිග කලිසමක් ඇන්දේ 10(2006) වසරේදී.. එතකම්ම පන්ති ඇන්දේ කොට කලිසම්.. කොල්ලෝ ජෝක් එකට කියන්නේ.."නියර මෙහෙම නම්....."(ඉතුරු ටික ඕනේ නෑ.)
    හැබැයි අපේ අම්ම නම් කියන්නේ.. අක්කට ඇඳුම් ගන්නවට වඩා මට ඇඳුම් තෝරන ඒක අමාරුයි කියල.
    university selection දාද්දි Fashion and design දන්නා හදලත් අම්මගේ වැඩේට දැම්මේ නෑ. ඒත් මම ඒකට පට්ටෙට කැමති...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. ඉතින් බං උඹ ඒකට ඇප්ලයි කරන්නනේ තිබුනේ. තමන් කැමති දේ තෝරාගන්න එපැයි..

      අර කියලා තියෙන එකේ ඉතිරි ටිකත් ලියහන්කෝ බං..("නියර මෙහෙම නම්.....") :)

      Delete
    2. දැන් කරන්න දෙයක් නෑ අප්ප.. ආඅ එකද "නියර( මෙහෙම නම් කුඹුර"කොහොමද"..? තේරුම මුණුපොතෙන් මැසේජ් එකක් දාලා අහන්න ... කියන්නම්

      Delete
  9. ඇත්ත ඇත්ත කතාව ඇත්ත මටත් ඔහොම අත්දැකීම් තියේ. තවත් කොහෙද රටක සාප්පු සංකීර්ණයක තියෙනවළු නෝනල ශොපින් කරනකල් මහත්තයලට සෙල්ලම් කර කර ඉන්න රබර් Boobs තියෙන Boob Pit එකත්. එකෙත් හොඳ හොඳ සෙල්ලම් ඇති නේද?

    මේ ඒක නෙවෙයි යාළුවා දන්නෙ නැති නිසයි අහන්නේ “ලෙග් ඉන්“ කියන්නේ මොන වගේ ඇඳුමක්ද? පින්තූරයක් දාන්න පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා ඒකෙ ෆොටෝස් වගයක්. ඒ පිරිමින්ටන්ම් කිසිම එපාවීමක් නැතුව ඇති.. :)

      ඒවායේ පින්තූර වගයක් තියෙන ලින්ක් එකක් මං දැම්මා පෝස්ට් ඒකෙ යටින්ම. ගිහින් බලන්න.. :)

      Delete
    2. තැන්කූ වේවා සහෝ මෙච්චර කල් කඩේ ගියාට ඔය ජාතියෙ නම දැනගෙන හිටියේ නෑ නේ. :)

      Delete
  10. කතාව ඇත්ත, මගෙ යෙහෙලියක් ඉන්නවා ඉරානයේ එයා අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා ඇඳුම් අරන්යන්න(ඉරානයට වඩා ලංකාවේ ඇඳුම් ලාභයි,තව ලස්සන ෆැෂන් තියෙනවලු), මට තමයි ඉතින් ෂොපින් එක්කගෙන යන්න වෙන්නේ සමහර දවස් වලට උදේ 9 ට ගියහම ‍රැ 8 විතර වෙනකම් ඇඳුම් තොරනව, මගෙන් අහන ප්‍රශ්න මෙව තමයි. පාට මැච් වෙනවද?, මේ ඇඳුම එයාට ලස්සනද?, මේ ජින්ස් එකට මේපාට ස්කිනි එක ගැලපෙනවද? ආදි නොයෙක් ප්‍රශ්න කොටියක් , උදෙ ඉඳන් ‍රැ වෙනකම් ඇවිදින එක තමයි එපා වෙන්නේ....:)

    ReplyDelete
    Replies
    1. ඉරානේ කියන්නේ මුස්ලිම් රටක්නේ. ඉතින් කොහොමත් අපේ රටවල් වල අයට ගැලපෙන ෆැෂන් නැතුව ඇති.. එළටම කට්ට කාලා තියෙනවා වගේ. :)

      Delete
    2. නෙරංජලාAugust 28, 2012 at 6:07 AM

      ඉරාණය කියන්නේ ඉස්ලාම් අන්තවාදය තදින්ම තියෙන රටක් මම දන්න විදිහට නම් මුස්ලිම් නොවන ගෑණු කෙනෙකුට වුනත් එහෙ ඕන ඕන විදිහට ෆැෂන් කරන්න බෑ, හිජාබය නම් අනිවාර්යයි. :(

      Delete
    3. ඔව්,නමුත් ගෙවල් වල, ඉන්නකොට ඔනතරම් ෆැෂන් කරන්න එ අයට නිදහස තියෙනව, තනිකර වෙස්ටන් ස්ටයිල් තමයි, ඩෙනිම් ෂොට් ස්කට් වලටයි, ස්කිනි ,අත් නැති බ්ලවුස් වලටයි එහෙ පුදුම ඉල්ලුමක් තියෙන්නේ...එලියට යද්දි තමයි ෆර්දාවෙන් වහගෙන යන්න ඔනේ....ලංකාවෙ තියෙන ඇඳුම් වලට ලොකු ඉල්ලුමක් තියෙනව, එත් ඉරානයට සම්බාදක දාලා තියෙන නිසා මහ පරිමානයෙන් ගෙනියන්න බැහැ....

      Delete
    4. නෙරංජලාAugust 29, 2012 at 3:07 PM

      එකනම් හරි විහිළු වැඩක් අප්පා. පිස්සු ඒ මිනිස්සුන්ට... :P ඔයාගේ යාළුව මුස්ලිම් නොවන කෙනෙක්ද? මම නම් රත්තරනින් ගෙවනව කිව්වත් ඔය වගේ රටක රස්සාවකට නම් යන්නේ නෑ. :D

      Delete
    5. ඔව්, එයා ෂියා මුස්ලිම්,අවුරුදකට සැරයක් විතර මම ඉරානෙට විසිටින් යනකොට එගොල්ලන්ට අවශ්‍ය ඇඳුම් බැග් එකකුත් අරගෙනයි යන්නේ.... එහේ කෙල්ලොන්ට පිස්සු වගේ ලංකාවෙන් ගෙන ඇඳුම් දැකලා.....

      Delete
  11. කාන්තා පාර්ශවයට ඇඳුම් තෝරන්න ගියාම නම් කවුරුත් ඔය කට්ට කනව ඇති. තියන්න ටික ඔක්කොම ඇදලා දාලා මුළු ටවුන් එක පුරාම ඇවිදලා ආයෙත් ගන්නේ අර මුලින්ම ගිය ශොප් එකෙන්ම තමයි.:)
    … හපොයි එහෙම ඇවිදින කොට දැනෙන සනීපයක්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ නේ ඒ සනීපේ ගැන..? :)

      Delete
  12. හි හි......මම නම් ඇඳුම් තෝරන්න යන්නේ තනියම.කාගෙන්වත් කරදර නැහැ එතකොට :)

    ReplyDelete
    Replies
    1. හොදයි ඒක. අනිත් අයට එපා කරවන්න නැතුව ඉන්න දන්නවා වගේ. එළ!! :)

      Delete
  13. මට නම් ඔය කියන තරම් වෙලා යන්නෙ නෑ සාමාන්‍ය ගමනකට ඇදුමක් ගන්න ගියොත් නම්. ඒත් සාරියක් වගේ ගන්නනම් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. සාරි තෝරන එක එච්චරම අමාරුද හලෝ..? මට නම් එපා උනේ අනිත් ඇඳුම් තෝරන්න ගිහින්. :)

      Delete
  14. ෆට්ට කට්ටක් බං...මමනම්..පලාතක යන්නෑ දැන්...!!! තනියම ගොහින් අරන් වර කියනව.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ වුනාට පලයන් බං.. උනුත් කැමතියි අපිත් එක්ක යන්ට.. ඒත් ෂොප් එකට ඇතුල් වෙලා නානාප්‍රකාර ඇඳුම් දැක්කට පස්සේ අපි එක්ක ආවද කියන එකවත් මතක නෑ.. :)

      Delete
  15. මමත් අද ඔය කට්ට කැවා...කඩවල් 10කට විතර යන්න උනා මගේ නෝනත් එක්ක එයට සෙරප්පු 2ක් ගන්න....

    ReplyDelete